කවි චුයිංගම්
- Jan 1, 2016
- 1 min read
කවියකට පුලුවන්ද
බිඳුනු හිත් සනසන්න?
ජාති, ආගම් කියන
විස්සෝපකම් හින්දාම
ඈත් වී හිඳින උන්
එකිනෙකට අලවන
චුයිංගමයක් වෙන්න?
මොකද බැරි, කවියකට
හැකි නම්
'බස රකින' උතුමන්ගෙ හිත් තුල?
'බස නසන' උන් ගැන
කේන්තිය උපදන්න
මොකද බැරි, කවියකට
හැකිනම්
වෙඩි තබා මරවන්න
පිටුවහල් කරවන්න
වැල යන අතට මැසි නොසාදන
කඩප්පුලි කවියන්ව?
තුවක්කුවකට පුලුවනි
හදවත් පසා කර යන්නට
එහෙත් කවකට පුලුවනි
හිත තියෙන්නේ තැන හොයාගෙන
ඉලක්කෙට වෙඩිලන්න
එවන් කවකට බැරිද,
චුයිංගමයක් වෙන්න!
(c) Ashan Weerasinghe







Comments